Tuesday, November 6, 2012


‘‘උන් උඹලාගේ දරුවන්ට උගන්නාවී ජාතී, ආගම්, භාෂා භේදයක් එපාය කියලා. දෙමළත්, මරක්කලයත්, හම්බයත්, කොච්චියත්, බෝරාකාරයත් එකය කියලා. උන් කියාවී මේ රට උන් ඔක්කෝටම අයිති කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි. පන්සල් වටේ පල්ලි කෝවිල් සදාවී. උඹලා උඹලෑ වෙනුවෙන් දියසේන කුමාරයලා ඉපදෙනකල් බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයි දීම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවරුන්ට උන් එදාට ඉනා බේත් දෙනවා. ඉන් පස්සේ උඹලෑ කෙල්ලෝ කොල්ලන්ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි.‘‘
-අනගාරික ධර්මපාල-


මේ එදා අනගාරික ධර්මපාලයන් විසින් කරනු ලැබූ ප්‍රකාශය අද වන විට සක්සුදක් සේ සනාථ වි හමාර බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ එසේවුවද එය මේ රටේ වීරයන් බිහිකළ ජීවනාලියවූ අංගම්පොර ශාස්ත්‍රයට අදාල වේ යයි කවරකුහට නම් ඇදහිය හැකි ද? ඇදහිය හැකි වුවද නොහැකි වුවද එදා අනගාරික ධර්මපාලයන් විසින් කළ ප්‍රකාශය එසේමැයි සනාථ කරන්නටදෝ අංගම් චෞර ගිනිඅලුගේ කරුණාපාල නම් වන අංගම් ව්‍යාපාරිකයා විසින් කරනු ලබන පහත ප්‍රකාශය දකින කෙනෙකුට නොවැටහෙන්නේද?


‘‘මට මේක ගෙනියන්න ඕන මට මේක උගන්වන්න ඔන නැතිවෙයි කියන බයට තමයි මං මේ හැමතෙනින්ම පිටරටින් එය අයට හිටන් ගෙනහල්ලා ඒ ගොල්ලන්ට කියලා දෙනවා... ‘‘

‘‘මං මේක පිටරට දෙන්න සිද්ධ කලේ මොකද හේතුව, ප්‍රධානම හේතුව අපේ ලංකාවේ ලංකාවට අපිට පිටරටවල් කියන්නේ කොච්චර ලෝකේ තියෙන්නේ ද රටවල් ඒ රටවල් හැම එකේම තියෙන දේවල් මේකේ ඇතුලේ තියෙනවා ඇවිල්ලා. ඔක්කෝම ඇවිල්ලා කුණු කරත්ත වගේ දැං අර යකඩ ගෙනත් දානවා වගේ තමයි මේ පරණ දේවල් ඔක්කොම ගෙනත් කිසිම තේරුමක් නැහැ ඒවල හිටං. මං ඒක ඔන තැනක කියනවා ඕන තැනක විවාදෙක කැමතියි. එකනම් මට අහනකොට ටිකක් අමනාප වෙනවා හිතත් ටිකක් කේන්තිත් යනවා මම තීරණය කළා ලංකාවේ තියෙනවා මෙහෙම කලාවක් ලෝකෙම මේක පතුරුවන්න ඕන කියලා.‘‘ 

‘‘මම මේ ජර්මන් ජාතිකයාට උගන්වන්න තීරණය කලේ මොකද ලංකාවේ මිනිස්සුන්ට ලංකාවේ දේ අගයක් නැහැ. දැන් අපි බලමු නිකං කතා කරල නිකං අහල බලමු ලංකාවේ මඤ්ඤොක්කා අලයක් බැස්සොත් ඒක රට අලේ කියලා කියනවා රට පෝර ලොකුයි ලංකාවේ ගොම් බෙට්ට ලොකු නැනේ. මට ඕන ලංකාවේ මේක ලංකාවේ මිනිස්සුන්ට අගේ නැත්නම් ලෝකේ අනෙක් මිනිස්සුන්ට මේකේ අගේ පෙන්නන්න ඕන. එතකොට තමයි ලංකාවේ මිනිස්සුන්ගේ ඇස් ඇරෙන්නේ.‘‘

- ජී කරුණාපාල, අංගම් ද මුවී නම් වාර්තා චිත්‍රපටය

කට කැඩිච්ච සිංහලයෙන් වුවද හරිම අමාරුවෙන් තමන් විසින් සුද්දන්ට අංගම්පොර නමින් චීනඩි ඉගැන්වීම සාධාරණීකරණය කරන මෙම කරුණාපාල නම් පුද්ගලයා අද මේ පවසන්නේ ඔහු විසින් මෙම සුද්දාට ඔහුගේ අංගම්පොරය ඉගැන්වීමේ මූලික හේතුවයි. ඒ අනුව ඔහු තම ජාතියෙන් හා ආගමෙන් පිට මෙම ශාස්ත්‍රය දීම තීරණය කොට ඇත්තේ පහත කරුණු දෙකක් මත පදනම්වය.

  1. වෙනත් රටවල සටන් කලාවන් හා වෙනත් දෑ මේ රටට ගෙන ඒම හා ඒවා ව්‍යාප්ත කිරීම
  2. ලෝකයේම මෙය පැතිරවීමේ අවශ්‍යතාව
  3. අංගම් ශාස්ත්‍රය නැතිවෙයි යන බිය.
  4. ලංකාවේ මිනිසුන්ට මෙහි අගයක් නොමැති වීම නිසා එම අගය ඇති කිරීමට පිටරැටියන්ට ඉගැන්වීම කළ යුතුය යන අදහස.

මෙහි දෙවන හා තෙවන කරුණ කෙසේ වුවද පළමු කරුණ නම් විමසිය යුතුමය. එහිදී අපට සිහිවන මූලිකම කතාව වන්නේ තොප්පි වෙළෙන්දාගේ කතාවේ වඳුරන්ය. තොප්පි වෙළෙන්දා තමන්ගේ හිසේ තිබූ තොප්පිය ඉවතට විසි කිරීම කරන විටම වඳුරන්ද තමන්ගේ තොප්පි විසි කිරීම වඳුරාගේ සිරිතය. අද මේ කරුණාපාල කියනුයේ සිංහලයාද වඳුරන් මෙන් විය යුතුයි කියා විය යුතුය. පිටරට ඈයෝ ලංකාවට විවිධ සටන් කලා විසි කරන විට අපිත් අපේ සටන් කලාව ඔවුන්ගේ රටවලට විසි කළ යුතුවා යයි කියාය. 

සතරවන කරුණත් හරිම අපූරුය. අපේ අයට අපේ දේ අගය නොමැති විට එය පිටරැටියන්ට විකිණිය යුතුය. එනම් සීගිරිය අපේ මිනිස්සු බලන්නේ නොමැති නම් සීගිරිය උඩ හෝටලයක් ගසා සුද්දන්ට විකිණිය යුතුය. එවිට සීගිරියේ අගය අපේ මිනිසුන්ට තේරෙනු ඇත. ‘‘රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ වටිනා කියන දේ විකිණිය යුතුය රටේ‘‘ නන්දා මාලිනියගේ ගීතය සිහිවේ. 

ඉහත ආකාරයට ඉතාමත් අසාර්ථකව තමන් විසින් මුදලට අති උතුම් අංගං ශාස්ත්‍රයේ නාමය විකිණූ බව නොකියා සාධාරණීකරණය කිරීමට උත්සාහ කරන මේ චෞරයා නිවැරදි අංගං ශාස්ත්‍රයේ මූලික රීතීන් හඳුනාගෙන නොගෙන සිටීම මෙයින් මොනවට පැහැදිලි වේ. අංගං ශාස්ත්‍රයේ මූලික සිද්ධාන්තයන් අතර,

  • ශාස්ත්‍රය නුසුදුසු අයට ලබා නොදිය යුතුය
  • ශාස්ත්‍රය විජාතියන්ට ලබා නොදිය යුතුය
  • ශාස්ත්‍රය අබෞද්ධයන්ට ලබා නොදිය යුතුය (රාවනා යුගයෙන් පසු)

මෙම මූලික සිද්ධානත්යන් නිසාවෙන්ම අංගං ශාස්ත්‍රය අදටත් වෙනත් කිසිම රටක දක්නට නොලැබේ. මෙය සිංහලයන්ට පමණක් ආවේණික වූ නොකිලිටි ශාස්ත්‍රයක් ලෙස තබා ගැනීමේ මූලික අවශ්‍යතාවය හේතුවෙන් මෙම රීතීන් හෙළ යක්ෂ ගෝත්‍රික ඍෂි වරුන් විසින් සම්පාදනය කොට තිබේ. මෙය කෙසේ වුවද මේ රට වසර 300කට වැඩි කාලයක් යුරෝපීයන් විසින් අති දරුණු ආකාරයට අපේ බුද්ධ ධර්මය හා සිංහල ජාතිය විනාශ කරමින් අදටත් ඔවුන් බිහි කළ කලු සුද්දන් ලබා තමන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගනිමින් මානව අයිතිවාසිකම් ආදියෙන් මේ රටේ ප්‍රධාන ජාතිය වන සිංහලුන් නෛතිකව පවා සිරකරමින් අපේ රට හා ජාතිය විනාශ කිරීමට උත්සාහ ගන්නා පර සුද්දන්ට ජාතික උරුමයක් වූ මේ අති උතුම් ශාස්ත්‍රය ඉගැන්වීම කවර සිංහලයෙකුට නම් අනුමත කළ හැකිද?



කොහෙන්දෝ අංගම් ශාස්ත්‍රයේ පාරිභාෂිත වචන කිහිපයක් සොයා ගන්නා කරුණාපාල නම් චෞරයා සිදු කරනුයේ ඒවා තමාගේ මගඩි නැටුමට සම්බන්ධ කර ගෙන මහා අංගම් ප්‍රවීණයෙකු සේ පෙනී සිටීමට උත්සාහ කිරීමයි. එසේ කළ එක් තවත් මුග්ධ ක්‍රියාවක් වූයේ පරසුද්දෙකුට අංගම් පනික්කිරාල තනතුරක් ලබා දීමයි. ජයන්ත චන්ද්‍රසිරිගේ අකාල සන්ධ්‍යා ටෙලි නාට්‍ය බැලූ මොහුට එහි තිබූ ගුරුවරයෙකුගේ තනතුරක් වන පනික්කිරාල නම් තනතුර එකළ තමන්ගේ ප්‍රධාන ආදායම් මර්ගය වූ ඔලිවර් නම් සුද්දාට ලබා දී මුදල් ගරා ගැනීමට ගත් පරගැති උවමනාවකි මේ පනික්කිරාල තනතුරල ලබාදීම. කෙසේ වෙතත් පනික්කිරාල තනතුරක් ලබා ගන්නේ කෙසේද? එක කුමන පුහුණුවීම්වලින් හා සටන් පරීක්ෂණවලින් පසුව සිදු කරනවාද ආදිය ගැන කිසිදු අරමුණක් නොදන්නා ගිනිඅලුගේ මෙසේ සිදු කළද පනික්කිරාල තනතුරක් යනු අංගම් පරම්පරාවක අනෙකුත් නවක සටන් කරුවන්ට පුහුණු කරවීමේ හැකියාව ලැබෙන ගෞරවාන්විත තනතුරකි. එය ලබා ගැනීමට අංගම් ශාස්ත්‍රයේ යම් උසස් මට්ටමකට උගත යුතු අතර ඌරා ළිඳේ සටනකින් පසුව ජයග්‍රහණය කරන කෙනාට මෙම තනතුර ලබා දෙයි. ඌරා ළිඳක් තබා ඌරා කැට ලිඳක්වත් දැක නැති මේ පර සුද්දාට දෙන අංගම් පනික්කිරාල තනතුර සමාන කළ හැක්කේ සුද්දන්ගෙන් ඉල්ලාගත් ‘තම්බි මොහන්දිරම්‘ තනතුරට පමණි.